අප රටේ රාජ්‍ය පාලනය ඉතාම අකාර්යක්ෂම හා සැලසුම් සහගතභාවයකින් තොරව ක්‍රියාත්මක වන බවත් මේ නිසා අප රටේ ලක්ෂ 220ම වින්දිතයන් බවට පත්ව ඇති බවත් මෑතකදී ඇ. ඩොලර් ලක්ෂ 25ක ණය වාරිකයක් හිටිහැටියේ අතුරුදන්වීම සිදුවූ බවත් අප රටේ ජනතාවගේ බදු ගෙවන මුදල්වලින් ඇ. ඩොලර් ලක්ෂ 25ක් වංචා වී සොරා කා ඇති බවත් බරපතලම සිදුවීම වන්නේ මේ හොරකම හා වංචාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියත් එය ලබා නොදීමට රජයට කටයුතු කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය ක්‍රියාත්මක වන අප රටේ ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් ඉස්මතු වූ සෑම මොහොතකම සෑම රජයක්ම එය ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ බවත් ඇ. ඩොලර් ලක්ෂ 25ක් අහිමි වීම හා වංචා සහගතව අතුරුදන් වීම ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් හරහා සාකච්ඡා කිරීමට අද තහංචි පනවා ඇති බවත් මේ ඇ. ඩොලර් ලක්ෂ 25 අහිමි වීම අප රටේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න නොහැකි වීම යනු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ඒකාධිපති රාජ්‍ය පාලනයක් කරා පිය නැගීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තාරුණ්‍යයේ හඬ නමින් තරුණයන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමටත් තරුණයන්ගේ අදහස්වලට වේදිකාවක් සකස් කිරීමත් අරමුණු කර ගෙන ආරම්භ වූ වැඩසටහන අමතමිනි.
විවිධ අවස්ථාවල ඉතිහාසයේ ඒකාධිපති පාලකයන් ව්‍යවස්ථාව පාලනය කරන්න කටයුතු කළ බවත් ජර්මනියේ 1930 දශකයේ පාලනය කළ හිට්ලර් එවැනි ඒකාධිපති පාලකයෙක් බවත් අද වන විට අප රටේ ද පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ යෝජනාවක් හරහා ඇ.ඩොලර් ලක්ෂ 25 අහිමි වීම සිදුවූයේ කෙසේද යන්න සම්බන්ධ සාකච්ඡා කිරීම තහනම් වී ඇති බවත් පාර්ලිමේන්තුවේ වාද විවාද කිරීමේ වරම පවා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය මේ ආකාරයෙන් හැකිලීම සිදුවූයේ තරුණයන්ගේ අයිතිය අහිමි කිරීමෙන් බවත් අරගලයේ දී තරුණයන් දේශපාලන විප්ලවයක් සිදු කිරීමෙන් පසු තරුණයන්ගේ හඩට පාර්ලිමේන්තුවේ කමිටු සභාවල ස්ථානයක් ලබා දෙන බවට පොරොන්දු වූ බවත් ඒ අනුව තරුණයන් 500කට ආසන්න ප්‍රමාණයකට ආංශික අධීක්ෂණ කාරක සභාවලට අවස්ථාව ලබා දී තරුණයන්ගේ යෝජනා ලබා දුන්නත් මේ රජය බලයට පැමිණ ආංශික අධීක්ෂණ කාරක සභා අඩු කර එහි තරුණ නියෝජනය පවා නැති කර දැමූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විදේශ ණය වාරිකයක් හොරා කන කොට අතුරුදන් වන විට වංචා සහගතව අහිමි වන විට ඒ ගැන සාකච්ඡා කිරීම අද තහනම් වන විටම තරුණයන්ට ලබා දුන් නියෝජනත්වය පවා අහිමි කර ඇති බවත් අරගලයේදී අරගල කරුවන් වෙන පැමිණ ලබා දුන් පොරොන්දු සියල්ල අද කඩ කර ඇති බවත් එදා ඒ පොරොන්දු දී අද තරුණයන්ගේ අයිතිය පාගා දමා ඇති බවත් යෞවන සමාජවලට පවා දේශපාලනය ගෙන ඒමට මේ රජය කටයුතු කර ඇති ජන්දයකින් ඒ තනතුරුවලට පත් කිරීම නොව ලිස්ට් එකෙන් දැමීම මේ රජය සිදු කර ඇති බවත් යෞවන සමාජයේ සේම පාර්ලිමේන්තුවේදී ප්‍රජාතන්ත්‍රවාදය නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තරුණයන් මේ ආංශික අධීක්ෂණ කාරක සභාවල සිටියා නම් සෘජුවම ප්‍රශ්න කළ හැකි වුවත් අද වන විට එය අහිමි කර රට බරපතල අවධානමකට රජය දමා ඇති බවත් මේ රජයට රාජ්‍ය පාලනය කාර්යක්ෂමව නිසි අයුරින් සිදු කළ නොහැකි බවත් මේ ඩොලර ලක්ෂ 25ට අමතරව තවත් ඩොලර් ලක්ෂ 6ක් අහිමි වීම විදේශ ගිවිසුම් පත්‍රිකා අහිමිවීම යනාදී තොරතුරු ලැබෙන බවත් දැන් තොරතුරු ලබා ගැනීමේ අයිතිය පවා අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Lanka Newsweek © 2026